Saturday, October 14, 2023

කර්මාන්ත පුහුණුව - පසුබිම

ශ්‍රී ලංකා දුම්රිය මූලස්ථානය 

මේ බ්ලොග් එක බලන හැමෝම වගේ දන්නවා මම දුම්රිය පිලිබඳ සෑහෙන උනන්දුවක් දක්වනවා කියල. ඒ වගේම එයින් සමහර දෙනෙක් දන්නවා, මම විදුලි හා විද්‍යුත් ඉංජිනේරු පාඨමාලාවක් හැදෑරුවා කියල. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේ මොන රටක මොන ඉංජිනේරු පාඨමාලාවක් හැදෑරුවත්, අනිවාර්යයෙන් ම අදාළ ක්ෂේත්‍රයේ පුහුණු කාලසීමාවක් (ආධුනික කාලයක්) ගත කරන්න වෙනවා අවම මාස 6ක්, අදාළ සුදුසුකම් මට්ටම් සම්පූර්ණ කරන්න.

ඉතින් මේ කටයුත්ත කරන්න, මටත් සිද්ධ උනා. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිම දාගන්න පුළුවන් ද බලන්න මම උත්සාහ කරා. ඒ, මගේ කාර්මික පුහුණුව සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තෝරාගෙන.

ශ්‍රී ලංකා දුම්රිය සේවය කිව්වට, මේකේ උප දෙපාර්තමේන්තු 10ක් තියනවා. ඒකෙන් මට අවශ්‍ය කාර්යය කරගන්න පුළුවන් උප දෙපාර්තමේන්තු 3යි තියන්නේ. ඒ ඇවිල්ලා;

ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු (Chief Mechanical Engineers Sub Department)

සංඥා සහ විදුලි සංදේශ ඉංජිනේරු (Chief Signal and Telecommunication Engineers Sub Department)

ප්‍රධාන ධාවනබල ඉංජිනේරු (Chief Engineer – Motive Power Sub Department)

කියන උප දෙපාර්තමේන්තු තුන. මේ තුනෙන් මාස 3-3 වගේ හිටින්න උප දෙපාර්තමේන්තු දෙකකට අනුයුක්ත වෙන්න තමා මගේ අදහස තිබ්බේ.

ඉතින් ඔය අදහස අරගෙන, මම මුලින්ම 2019 වගේ අපේ ඉංජිනේරු පාඨමාලාව මෙහෙයවන බ්‍රිතාන්‍යයේ City and Guilds ආයතනයේ අනුමැතිය අරගන්න ඒකෙ සම්බන්ධීකාරක ආයතන වලට එහෙම ලියල, ඔන්න අවසර ගත්තා.

ඒ පැත්තේ වැඩ ටිකත් ඉවරලා, මූලික වටයේ විභාග ඉවරල, ලියුම් කියුම් ගන්න යද්දී චීනෙකුට වවුල් සුප් බොන්න ඕනේ උනා.

ආය මොනාද ඉතින් අවුරුදු දෙකක් විතරම ගෙවල් අස්සෙනේ ලෝකෙම.

ඒ කරදරත් ඉවරලා, ආයෙත් අපේ ඉස්කෝලේ වැඩ පටන්ගත්තාම, ඒ පැත්තෙනුත් අවසර අරගෙන, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඉන්න මගේ හිත මිත්‍ර ඉංජිනේරුවරයෙක් වෙන, රකිත ආරියරත්න මහත්මයාගේ උපදෙස් එක්ක, අයැදුම් කරා කාර්මික පුහුණුවට..

මෙන්න මෙතන ඉඳන්, රාජ්‍ය සේවයේ තියන කාර්යක්ෂමතාව, වැඩ පිළිවෙල, නීති රීති අනංමනං ගැන සෑහෙන ප්‍රායෝගික අවබෝධයකින් පස්සේ, කාර්මික පුහුණු කාලසීමාවක් සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත එක් වෙන්න අවස්තාව ලැබුනා.

අද පෝස්ට් එකෙන්, ඒ පුහුණුව පටන් අරගන්න දවස වෙනකල් වෙච්ච මූලික ක්‍රියාමාර්ග සහ “රසබර” සිද්ධි ටිකක් අරගෙන එන්න තමා හිතුවේ. ඒ වගේම, මෙතැන් සිට සෑම සති අන්තයකම, පුහුණුවේ එක සතියක් ගානේ ආවරණය වෙන විදියට, ලිපි පෙළක් ඵල වේවි.

එහෙනම් ඉතිං, ඕන්න අහගන්ටලාකෝ ඒ විස්තරෙත්..

          පළවෙනියට ම දාපු ලියුම් කඩදහිය, ඒ කාලේ දුම්රිය සාමාන්‍යාධිකාරීතුමා අතට ගිහිං, එතැනින් රහත් උනා ආයුබෝවන්ට.. ඒකට වෙච්ච දෙයක් නෑ..

එහෙමයි කියල බෑ නේ. දැම්මා දෙවෙනි කඩදහියකුත්. මෙදා සැරේ අර සංඥා ඉංජිනේරු මහත්තයගේ අත්සනකුත් අරගෙනම දැම්මේ. දැන් වැඩේ ඉස්සරහට යනවා. මම නිවාඩුත් අනුමත කරගත්තා ඉස්කෝලෙන්. මට අංකයක් හම්බුනා, පුහුණු අංශයෙන් කියල, කතා කරලා විස්තර අහගන්න කියල.

අනේ මමත් කතා කරාම, හරි කරුණාවෙන් කතා කරලා “අනේ පුතා ඔයාගේ වැඩේ හරි හොඳ ද, ලබන සඳුදා ඇවිත් පත්වීම් ලියුම ගන්න” කිව්වා. ආය ඉතිං මොනාද, මමත් ඉන්ටර්සිටියේම ගියා. මේ වැඩ වලට මට ගොඩක් උදව් කරා මගේ හිත මිත්‍රයෙක් වෙන පුලස්ති කාංචන අයියා.

අපි දෙන්නා ගිහිං බැලුවම, එහෙම ලියුමක් ඤැහ්.. ගිහිං වටේ බැලුවම, එහෙම ලියුමක් කොහේටවත් ගිහිං නෑ. පොඩ්ඩක් ඇවිදලා කැරකිලා බැලුවම, මෙන්න ලියුම තාම ආපු විදියටම ෆයිල් එකේ!!

ඒ පාර අර නිලධාරීතුමා කියනවා, හරි පුතා, ලබන සතියේ හදල දෙන්නම් කියල. තටු අකුලාගෙන ආවා. ඒ කරලා මෙන්න බදාදා කියනවා යස කතාවක් - “පුතා මේක එංගලන්තෙන් කරන කෝස් එකක් නේ, අපිට එහෙම අයව ට්‍රේනිං වලට ගන්න එපා කියල ජර්මන් ටෙක් එකෙන් කියනවා..”

මට දැන් මල අතේ.. පහුවදාම උදේ නැග්ගා කෝච්චියට, ගියා කොළඹ. මම දන්න තව පරිපාලන නිලධාරී මහත්මයෙක් ඉන්නවා විරාජ් නානායක්කාර කියල. එතුමාටත් මම නිකමට විස්තරේ කිව්වම කිව්වා එහෙම ප්‍රශ්නයක් නැහැ කියල. 

උදේ කෝච්චියෙන් කොළඹට..

 ඔය අතරේ අපේ නැන්දාටත් මම විස්තරේ කිව්වම, එයා කිව්වා එහෙම එකක් නෑ, පුහුණුවට ගන්නවා කියල. නැන්දාත් ඒ පැත්තෙන් බලල තිබ්බා මොකද උනේ කියල. මෙතන වෙච්ච අලකලංචි සම්පූර්ණයෙන් වත් ඒ අදාළ මනුස්සයාගේ නම වත් මම සඳහන් කරන්නේ නෑ.

පුලස්ති අයියටත් විස්තරේ කිව්වම, එයත් ආවා. රකිත මහත්මයවත් දැනුවත් කරා මෙහෙම කතාවක් කිව්වා කියල. ගිහිං බලද්දී අර නිලධරු අසුනේ නැත!

අපි ගිහිං එතන පරිපාලන නිලධාරීතුමිය හම්බුනා. අපේ කතාවයි විස්තර ටිකයි අහලා, එවෙලේම ඒ ලියුම ගෙන්නාගෙන, සටහනක් දාලා, අවශ්‍ය අනුමැති වලට අදාළ තැන් වලට යැව්වා. කොහොම හරි එදා දවසෙන්, රත්මලාන ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂතුමාට මගේ අවශ්‍යතාවය දන්වලා ලියුමක් ලියල, මට පහුවෙනි සතියේ ඇවිත් ඒක අරගෙන ගිහිං, අවශ්‍ය කටයුතු කරගන්න කිව්වා.

ඔය අතර ඉතින්, රත්මලාන කියන්නේ උදේ හවස යන්න එන්න පුළුවන් තැනක් නෙවෙයි නේ. ගමන කොහොමහරි කරගත්තත්, වියදමත් ප්‍රශ්නයක්. අනික මහන්සිය.. රත්මලානේ මම ඉන්න ඕනේ උදේ 8ට. එහෙ 4.30 වෙනකල් වැඩ. ඔය වෙලාවට දුවන කෝච්චි නෑ.

ඉතින් එකම විසඳුම උනේ ඒ පැත්තෙන් නවාතැනක් හොයාගන්න එක. නැන්දලා මාමල කොළඹ හිටියට, ඒ ඉන්න තැන්, දුරවල් එක්ක ඒ තැන් ප්‍රායෝගික උනෙත් නැහැ. අන්තිමට, මට තැනක් හොයල දෙන්න ඉස්කෝලේ දරුවෙක් සහ දුම්රිය සේවයේ රසික කරුණාතිලක ස්ථානාධිපති මහතා කටයුතු කරා. ඒ හැමෝටම ස්තුති කරන්නත් ඕනේ.

මේ වැඩේ පටන් ගත්තම මට කල්පනා උනා, සමහර විට මට සෙනසුරාදා/ ඉරිදාත් කොළඹ ඉන්න වෙන්න පුළුවනි, ඒ වගේ ම, ඒ වෙද්දී ඉස්කෝලේ මම ස්ථිර නොවුන නිසා, ආපහු එතැනට යැවෙන සම්භාවිතාවයත් සෑහෙන අඩුයි කියල. ඉතිං කෝකටත් කියල, මම ඉස්කෝලේ දන්න අඳුරන අයටයි, දහම් පාසලේ කථික සංසඳයටයි කියල, ඒ ළමයි හම්බෙලා කතා කරලා තමයි ආවේ. ඔය දහම්පාසල් ළමයි හම්බුනේ මේ එන්න කියපු දිනේට කලින් දා. ඒ කිව්වේ ඔක්තෝබර් 13 වෙනිදා.

දැන් ඉතින් ඉස්කෝලෙන් නිවාඩුත් හරියට දින තියල දාගෙන, ඔන්න ලියුම ආවට පස්සේ, ඒකත් අරගෙන අමු ධාරාණීපාත වැස්සේ, පහුවදා, 14 වෙනිදා, ගියා රත්මලානට. ගිහිං මුලින්ම රත්මලාන ජර්මන් ටෙක් එකට ගිහිං, එතන පුහුණු හා මානවසම්පත් පිලිබඳ ඉංජිනේරුතුමා හමු වෙලා, ලියකියවිලි වැඩ අවසන් කරා. 

පළමු දැක්ම..

එතුමා මට කර්මාන්තශාලාව ගැන විස්තර, මොන වගේ වැඩ ද ඇතුලේ වෙන්නේ, වැඩ කරන පැය ගණන් කොහොමද, මොන මොන කර්මාන්තශාලා ද මට යන්න ඕනේ වෙන්නේ, වගේ කරුණු කාරණා ගොඩක් කියල දුන්නා. එතැනින් අත්සන් කරගත්ත ලියුම් අරගෙන, ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලයට ගිහිං, අදාළ මුදල් ගෙවීම්, කොළ පිරවිලි එහෙම ඉවර කරගෙන, එතනින් ම දවල්ට කාලා, එදාට වැඩ ඉවර කරගත්තා. 

අමු වැස්සේ.. 

14 වෙනිදා කියන්නේ අමු වැසි දවසක්. මගේ කුඩේත් කලින් දවසේ මාරු වෙලා තිබ්බේ (එකම ජාතියේ එකම ප්‍රමාණයේ එකකට). හැබැයි ඒ වැස්සට ඒ වගේ කුඩ 10ක් වත් ඕනේ. ස්ටේෂන් එකට යනකොට සපත්තු වතුර බෝතල් වෙලා. කලිසම් කමිස ඇඟට ඇලිලා. ඊට පස්සේ හොඳම කතාව තමයි කොටුවට එන්න හම්බුන කෝච්චිය.

මේක S11 වර්ගයේ බලවේග කට්ටලයක්. හුළඟ එක්ක එන වැහි වතුර, කෙලින්ම ෂවර් එකක් ගානට ඇතුලට වදිනවා. දොරවල් වහන්න බෑ. ඇතුලේ කට්ටියට හොඳ බාත් එක ඉතින්. කොහොම හරි කොටුවට යන්තමින් ඇවිත්, එතනින් එහාට අදින්න බැරුව ඒක එතන ෆේල්! අපි 4.35 නුවර එක අදිනකොටත් ඒක එතනමයි! 

අඩු මිලට ගමන් පහසුව සමග නොමිලේ සුපිරි නෑමක්..

ඉතුරු දවස් ටිකේ ඉතින් සෑහෙන්න වැඩ තිබ්බා. ගෙනියන දේවල් හදාගන්න එක, බෑග් රිපෙයා කරගන්න එක, ඉස්කෝලේ විවාද කණ්ඩායම, දහම්පාසලේ කථික සංසඳය ගැන ඉස්සරහ කටයුතු කරන එක, අවශ්‍ය වාර්තා, කරුණු එකතු කරගන්න එක, විෂය කරුණු හදාගන්න එක වගේ.. ඔය අතර දහම්පාසලේ ළමයි ටික මම යනවට ටිකක් අවුල් ගිහිනුත් තිබ්බා. හැබැයි එයාලා ගෘප් එකක් එහෙම හදාගෙන, මට අරව මේවා මතක් කර කර සෑහෙන සපෝට් එකකුත් දුන්නා.

ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව 

රත්මලාන වැඩබිම කියන්නේ කර්මාන්තශාලා පරිශ්‍රයක්. එතන කර්මාන්තශාලා 40කට වැඩියෙන් තියනවා. ඒත් මට අදාළ වෙන්නේ ඒවායින් විදුලි වැඩ කෙරෙන කර්මාන්තශාලා විතරයි නේ. මාව අනුයුක්ත උනේ 27, 39, 35, 30,31 කියන තැන් වලට. කලින් මේකේ ඇවිදලා තිබ්බට, මට මතක තිබ්බේ 27 විතරයි ඔතනින්. ඒ පරණ ෆොටෝ එහෙම බලලා මෙමරි එක හදාගත්තා.

කොහොමින් කොහොම හරි, මට රත්මලානේ වැඩ බාරගන්න තිබ්බේ ඔක්තෝබර් 17 ඉඳන්. 16 මෙහෙ කඨින පිංකම. උදේ ඒකටත් ගිහිං, ඉතුරු පොත්පත් අනංමනං ඔක්කොම ලැස්ති කරා. හවස ආය කථික සෙට් එක ආවා පන්සල්. එයාලා එක්ක පැයක් හමාරක් ඉඳලා, එක්කෙනෙක්ගේ උපන්දිනේකුත් සමරලා, ටවුන් ගිහිං ඉතුරු අඩු වැඩියත් අරගෙන, රෑ 10.30 වෙද්දී ඉන්වෙන්ට්‍රි එකක් අරගෙනම බෑග් 2කට බඩු ටික පැක් කරගෙන, පහුවදා මාතර කෝච්චිය අල්ලගන්න බලාගෙන නිදාගත්තා..

මෙතැනින් එහාට කතාව, ඊළඟ සෙනසුරාදා ඉඳන් කියවමු..





9 comments:

  1. අපේ රටේ තක්කඩි අධ්‍යාපන ක්‍රමය, රටේ අර්ථ ක්‍රමය, සමාජයේ තියෙන පුහු මත, රැකියා ලබාදීපේ පටිපාටි ආදී එකී නොකී මෙකී සියළු තැන් වල තියෙන වැරදි මරි මෝඩ ක්‍රම වේද නිසයි මේ හැම දෙයක්ම.
    මිනිසුන් කරණ්නේ තමන් කැමති රස්සාව නොව තමාට පරි භාහිරයෙන් ආරෝපනය කරණ මගුලක්.
    දැන් බොහෝ ප්‍රධාන පාසල් ඉදිරි පිට උදෑසන හා දිවා කාලයේ මාර්ගයේ වාහන හා එතැනින් එහා මෙහා යන පාසැල් දරුවන්පාලනය කරණ; එම පාඩ්සලේම දරුවන් කොතරම් නම් ඉන්නවාද? ආසාවට ඒ දරුවන් පොලීසියේ රතවාහන අංශයට බඳවා ගන්නවාද?
    මා හොඳින්ම දන්නවා මල්ලී ඔබත් ගිහාන් චන්ද්‍රික වික්Z සුත් මේ දුම්‍රියට ආදරය කරනා මිනිසුන් බව.
    ඒත් ඒ වගේ කෙනෙක් දුම්‍රිය දෙපාර්තමේන්තුවට අනුගත වෙන්නට ගිය විට දහසකුත් එකක් ගල් මාට්ටු!

    ඕවා නිසා තමයි මේ රටවල් වලට මෙහෙම වෙලා තියෙන්නේත් බොහෝ දෙනා රට හැර යන්නෙත්!
    ඒ කොහොම හරි ඔබ ලියන්න පටන් ගත්තු එකට නම් මෙන්න මගේ මෙව්ව එක!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අපේ රටේ කරන්න ඕනේ එකා නෙවේ ඕනේ රස්සාව කරන්නේ. ඒකයි මේ රටේ කිසි දේක දියුණුවක් නැත්තේ.

      Delete
  2. බොලා දන්න අඳුනන අය ඉන්න හින්ද ඔහොම හරි වැඩේ ගොඩදාගත්ත.
    එහෙක සම්බන්ධතා නැති එකෙක් උනොත් ඌට වෙන්නෙ හන්දියෙ ත්‍රීවීල් එලවන්න හරි සියදිවි නසාගන්න හරි තමයි.

    ReplyDelete
  3. හැමදාම වගේම නියමෙට ලියල. එක හුස්මට කියෙව්වා.🙏👌

    ReplyDelete
  4. සුපිරි! ඒ කියන්නේ උඹ ඉස්සරහට ෆුල් ටයි කෝච්චි වැඩේට බහින්නද කල්පනාව?

    ReplyDelete
    Replies
    1. අදහසක් තියනවා අයියා.

      Delete